| යන භාවාත්මක ගෞරවාදර වදනින් වහරණ දන්ත දතූන් වහන්සේ රාජ්‍යතවයේ සංකේතය වශයෙන් එදා සිට පවත්නේය.බුදුරජාණන් වහන්සේ අසූ වියේ දී මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පා වඳාළ සේක. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ශාරීරික කොටස් ධාතූන් වහන්සේලා නම් වෙති. මෙහිලා දළ යනු දත්ය. දා යනු ධාතුයැ. එබැවින් දළඳා වහන්සේ නම් බුදුරජාණන් වහන්සේගේ දන්තයෝය. පාලි භාෂාවෙන් දන්ත ධාතු වන අතර එහි සංස්කෘත වචනය දංෂ්ට්‍රා ධාතුයැ.
ධාතූන් වහන්සේලාගේ පැරණිම මූලාශ්රය ත්රිපිටක පාලියට අයත් දිඝ නිකායේ මහාවග්ගයේ මහා පිරිනිබ්බාන සූත්රයෙහි අන්තර්ගත වන්නේයැ. ඒ පිළිබඳ සංකෂිප්තව පහත සදහන්ය.
මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්වනයේදී බුදුරජාණන් වහන්සේ නිරුපධිශේෂ පරිනිරිවාණයට පත් වූ සේක. එබැවින් කුසිනාරා පුරවැසි මල්ල රජවරු භාගයවතුන් වහන්සේගේ ශ්රී දේහය අලූත් වස්ත්රයකින් වෙලුහ. ඉන්පසු නෙලු පුළුන්වලින් වෙලුහ. නැවත අලූත් වස්ත්රයකින් වෙලා නෙලූ පුළුන් වලින් වෙලුහ. මෙසේ යුගල පන්සියයකින් භාග්යවතුන් වහන්සේගේ ශ්රී දේහය වෙළා යකඩ (අයසාව) තෙල් දෙණක බහා, යකඩ දෙණකින් වසා සියලූ වර්ගයේ දුවඳ දරින් චිතකයක් තනවා ශ්රී දේහය එහි තැන්පත් කළහ. අසිරිමත් පූජා පවත්වමින් දින සතක් ගත වූ පසු ශ්රී දේහයට ගිනි දැල්වීමට මල්ල රජදරුවන් උත්සුක වුවත් නොහැකි විය. පාවා නුවර සිට වැඩම කළ මහා කාශ්යප මහ රහතන් වහන්සේ දොහොත් නඟා තුන්වටක් චිතකය පැදකුණු කොට බුදුරදුන්ගේ සිරිපා වැන්දා හ. භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් ද එසේ පැකුණු කොට වැන්දා හ. ඒ සමඟම ඉබේම චිතකය ගිනි ඇවිලූණි. දැවෙන ගිතෙල් හෝ තල තෙල්වල යම් සේ අළු හෝ දැලි නොවන්නේ ද එසේ භාග්යවතුන් වහන්සේගේ ශ්රී දේහයේ උඩුහම හෝ සම හෝ නහර හෝ සද මිදුලූ හෝ දැවුණත් එහි අලූ හෝ දැලි නොවීය. එහෙත් ශාරීරික ධාතුන් වහන්සේ ඉතිරි වූහ. මල්ල රජදරුවෝ මෙම ධාතූන් වහන්සේලා සන්ථාගාර ශාලාවේ ආරකෂා සහිතව තැන්පත් කොට දින සතක්ම අසීමිත ගෞරවයෙන් පූජා සත්කාර කළහ.
ඉක්බිතිවැ අජාසත් රජ ද, ලිච්ජවී රජවරු දශාක්ය රජවරු ද, අල්ල කප්ප රටේ බූලි රජවරු ද, රාම ග්රමවාසි කෝලිය රජවරු ද, වේඨදිපක බ්රාහ්මණ ද, පාවා නුවර මල්ලරජදරුවෝ ද, එහි ගොස් කුසිනාරාව අවට සිට වෙන වෙනම ධාතු ඉල්ලා පණිවුඩ යැවූහ.
මල්ල රජවරු ධාතු නොදී zසටන් කරමුයි’ පිළිතුරු යැවූහ. මේ සෑම රජකෙනෙකුගේම පාහේම ගුරුවරයා වූ දෝණ නම් බමුණා මේ ධාතු කෝලහලයට මැදිහත් වී කරුණු කියා ඔවුන් සාමදානය කොට ධාතු අට කොටසකට ඛෙදා දුන්නේය. ධාතු ඛෙදූ රන් නැළිය ඔහු ගෙන ගියේය. ඉන් පසු පැමිණි පිප්පලී නගරවාසී මෞරිය රජවරු ආදාහණය කළ ස්ථානයෙන් අඟ=රු ගෙන ගියහ. මෙසේ ගෙන ගිය ධාතු ලාසය සහ අඟ=රු තැන්පත් කොට ඒ ඒ රාජ්යවල ස්ථූප දහයක් කළහ. සතර දළදාවන්ගෙන් එක් දළදාවක් තාවතිංසයෙහි ද එකක් ගන්ධාරයෙහිද එකක් කාලිංගයේ ද, අනෙක නා ලොව ද, සම සතළිස් ධාතූන් ද කේශ ධාතූන් ද ලොම ධාතූන් ද එක් එක් සක්වලක් පාසා දෙවිවරු රැගෙන ගිය බව මහා පරිනිබ්බාන සූත්රයේ සඳහන් වේ.
දීඝ නිකය අට්ඨකථාවේ සඳහන් පරිදි දොණ බමුණා රන් දෙණ විවෘත කොට ඒ ඒ රජවරුන්ට භාග්යවතුන් වහන්සේගේ ධාතූන් ප්රදර්ශනය කොට ඔවුන්ව නොපෙනෙන සේ දකුණු දළදාව ගෙන හිසේ වෙළුම අතරේ සඟවා ඇත. එය ඔහුට නොදැනෙන පරිදි ශක්රයා රැගෙන දෙව්ලොව සිළුමිණි සෑයෙහි (චූළාමණී චෛතියේ) තැන්පත් කොට ඇත.
තවද අටුවාව විවරණය කරන පරිදි චතස්සො දාඨා, ද්වෙ අක්ඛකා, උණ්හීසන්ති ඉමා සත්ත ධාතුයො න විප්පකිරිංසු සෙසා විප්පකිංසුති. තනථ සබ්බඛුද්දකා ධාතු සාසපබීජමත්තා අහොසි. මහාධාතු මජ්ෙ® භින්නතණ්ඩුලමත්තා. අතිමහතී මජ්කෙධ භින්න මුග්ගබීජමත්තාති” “සතර දළදා, දෙ අකුදා, නළල්පටිය යන මේ ධාතු සත නොවිසුරුණ හ. අනික් සියල්ල විසුරුණ හ. එහි ඉතා කුඩා ම ධාතු අබබීජ පමණ විය. මහා ධාතු කඩසහල් පමණ ඇත. ඉතා මහත්ධාතු මුංපියලි පමණ ය.”
මෙම සතර දළදා වහන්සේලාගෙන් එක් දළදා වහන්සේ නමක් පුණ්ය ජනාධාර ගන්ධාර දේශයට ගෙන ගොස් ගන්ධාර රජු විසින් සිංහාසනයෙහි තැන්පත් කොට පුදසත්කාර කරන ලද බව දළදා සිරිතෙහි සඳහන් ය. මෙම ගනධාර දේශය, වර්තමාන බටහිර පකිස්තානයට අයත් කන්දහර් නම් ප්‍රදේශයයි.
බුදුරජාණන් වහන්සේගේ දේහය දැවෙන චිතකයෙන් වම් දළදාව ඍද්ධියෙන් ලබා ගත් ඛේම රහතන් වහන්සේ එය කාලිංග දේශයේ දන්තපුරයේ බඹදත් නම් රජතුමාට ගෙන ගොස් දුන් බව දළදා සිරිත කියයි. අසීමිත භත්යාදරයෙන් පුදසත්කාර කරමින් සිටි බබදත් රජු පරලොව සැපත් වූ කල් හි ඔහුගේ පුත් කසී රජ රාජ්යයට පත් ව ඇත. ඔහු ද දළදා වහන්සේට අසීමිත භක්තියෙන් පුද සත්කාර කොට ඇත. මෙසේ රාජ පරපුරෙන් පරපුරට රැකගෙන එන පරමපූජනීය වම් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කොට තිබේ. එදා කාලිංග දේශය නමින් හැඳින් වූ මේ රාජ්යය අද “ඔරිස්සා” නමින් හැදින්වේ.
ලක්දිව මහසෙන් රජු රජ කරණ කාලයේ ඉන්දියාවේ කාලිංග පුරයේ රාජ්යය කළේ ගුහසීව රජය. මොහු මිත්යා දහම වැළඳ ගත් හෙයින් දන්ත ධාතූන් වහන්සේට කරණ පූජා සත්කාර නොකරණ ලදි. පසුව දන්ත ධාතූන් වහන්සේගේ ප්රාතිහාර්යයන් දැක නැවතත් බුදුදහම වැළඳ ගෙන පූජා සත්කාරයන් පැවැත් විය.
මෙයින් කිපුණු අන්යලබ්ධිකයෝ දඹදිව අගරජ කරන්නා වූ පාණ්ඩව රජු වෙත එළඹ, “කලිඟු රට තොප ඇතැවැසි ගුහසීව නම් රජෙක් තොප වැනි රජ දරුවන් වැඳ පුදන බ්රහ්ම, විෂ්ණු මහේෂ්වර යනා දී ලෝක ප්රසිද්ධ දෙවියන්ට නින්දා කොට මිනී ඇටය පුදන්නේ ය. කීවෝ යයි දළදා පූජාවලියේ සඳහන් ය. මෙයින් කෝපයට පත් පාණ්ඩව තම බෑණා වූ චිත්රයාණ නම් ප්රාදේශිය රජ සන්නාහ සන්නද්ධව යවා ‘මිනී ඇටය’ වහා ගෙණෙන ලෙස අණ කළේ ය. එහෙත් චිත්රයාණ රජු ද දන්ත ධාතූන් වහන්සේගේ ප්රාතිහාර්ය දැක සිටුරඟ සෙනඟ සමඟ බුදු දහම වැළඳ ගත්හ.
කෙසේ වුවත් පාණ්ඩව රජ දන්තපුරයෙන් පාටලී පුත්රයට දළදා වහන්සේ ගෙන්වා ගෙණ නිවටුන්ගේ අදහස් පරිදි හිංසා පීඩා නින්දා අපහාස කළේ ය. එහෙත් ප්රාතිහාර්යයන් දැක ඔහු ද බුදු දහම වැළඳ ගෙන නැවත කාලිංග රජුට ම බාර කළේ ය.
ගුහසීව රජතුමා ජීවිත පරිත්යාගයෙන් දන්ත ධාතූන් වහන්සේ ආරකෂා කළා පමණක් නොව තම අවෑමෙන් පසු එහි ආරකෂාව සඳහා ද දූරදර්ශී ක්රියා මාර්ගෙන ඇති බව ග්රනථගත ගෙන ඇති බව ග්රනථාගත තොරතුරුවලින් හෙළි වෙයි. තුණුරුවන් කෙරෙහි ප්රමුදිතව සිටි උජ්ජයිනී රාජ්යයේ රජුගේ පුන් දන්ත කුමරුට ගුහසීව රජ තම දියණිය වූ හේමමාලා කුමරිය සරණ පාවා දි දළදා ආරකෂක ධූරයට ද පත් කර ඇත. ගොඨාභය රජුගේ පුත් වූ මහසෙන් රජු කාලිංග ගුහසීව රජුන් මිත්රයෙකු වශයෙන් සිටි බවත්, මහසෙන් රජු දන්ත ධාතූන් වහන්සේ අප රටට වැඩම කරවා ගැණීම පිණිස උත්සාහ ගත් බව ඉතිහාස ගත තොරතුරුවලින් හෙළි වේ.
කෙසේ වුවත් ගුහසීව රජු යුද්ධයෙන් මළ පසු දන්ත ධාතූන් වහන්සේගේ ආරකෂාව පිණිස හේමමාලා දන්ත කුමරු දම්පතීහු බමුණ වෙස් ගෙන මහසෙන් රජුගේ පුන් කිත්සිරි මෙවන් රජු දවස දළදාව අප රටට ගෙනා හ. |
Recent Comments